ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්ධන වැඩසටහනේ හි දර්ශනය

Sex for Healthy Life

රට තුල ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග සහ එච්.අයි.වී. නිවාරණය හා පාලනය කිරීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනයි. එය රෝග නිවාරණය සහ ප්‍රතිකාර කිරීම යන සේවාවන් දෙකම සපයන සෞඛ්‍ය අමාත්‍යාශය යටතේ පවතින මනාව සංවිධානය වූ වැඩසටහනකි. මෙහි මූලස්ථානය පරිපාලනමය කටයුතු සහ විමර්ශන රසායනාගාරයක් සහිත ආදර්ශ සායනයකින් සමන්විත වන අතර ඒ හා සම්බන්ධව පුහුණු වෛද්‍ය වරයෙකු විසින් මෙහෙයවනු ලබන පූර්ණ කාලීන පර්යන්ත සායන 30 ක් ඇත. ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනේ පරමාර්ථ වනුයේ එච්.අයි.වී. ඇතුළු ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන අසාදන බෝවීම වැළැක්වීම සහ ආසාදිත හා බලපෑමට ලක්වූ යට ප්‍රතිකාර සත්කාර සහ උපකාරක සේවා සැපයීම වේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. අසාදනය සඳහා අඩු ප්‍රවනතාවක් ඇති රටක් ලෙස වාර්තා වී ඇත. වසර 2013 අවසාන වන විට එච්.අයි.වී. සමග ජීවත් වන්නන් ප්‍රමාණය 4200 ක් පමණ ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

ජාතික ක්‍රමෝපායික සැලැස්මෙහි (2013 – 2017) සමස්ත ඉලක්කය වනුයේ රටෙහි සමාජ සංවර්ධනය කෙරෙහි එච්.අයි.වී. / ඒඩ්ස් හි බලපෑම අඩු කිරීමය. ප්‍රධාන අරමුණු වනුයේ,

  1. අවදානමට වැඩියෙන්ම ලක්ව සිටින ජනගහනය සහ සාමාන්‍ය පොදු ජනගහනය අතර එච්.අයි.වී. පැවතීම අවම පැවැත්මකින් යුතුව ඉදිරියටත් පවත්වාගෙන යැම සහ
  2. දැනට ආසාදනයට ලක්ව ඇති අයගේ ජීවිතවල ගුණාත්මකභාවය ඉහල නංවාලීමයි. මේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා වන ජාතික ක්‍රමෝපායික සැලැස්ම ක්‍රමෝපා 6 කින් සමන්විතය. මේවා අතරින් වැදගත්ම හෙවත් හර ක්‍රමෝපා දෙක වනුයේ:
    1. වැළැක්වීම සඳහා වන මැදිහත්වීම් වල ආවරණය සහ ගුණාත්මක භාවය වැඩිකිරීම.
    2. සත්කාරමය සහාය සහ ප්‍රතිකාර මැදිහත්වීම් ආවරණය සහ ගුණාත්මක භාවය වැඩිකිරීමය.

ඉහත ක්‍රමෝපායන්ට සහාය වන අතිරේක ක්‍රමෝපා සතරකි. එනම්,

  • සැලසුම්කරණය සහ ප්‍රතිපත්ති සංවර්ධනය සඳහා තොරතුරු උත්පාදනය සහ භාවිතය නංවාලීම.
  • මෙම ප්‍රතිචාරය සඳහා අදාල අංශ සහ රජයේ විවිධ මට්ටම් වල සම්බන්ධ වීම සහ එසේ සම්බන්ද වන මට්ටම් ඉහල නැංවීම.
  • එච්.අයි.වී.ඒඩ්ස් පාලනය සඳහා වඩා සහායක මහජන ප්‍රතිපත්තියක් සහ නෛතික පරිසරයක් බිහිකිරීම.
  • මෙම ප්‍රතිචාර පිළිබඳව වන කළමනාකරණය සහ සම්බන්ධීකරණය ඉහල නංවාලීම.

ජාතික ක්‍රමෝපායික සැලැස්මෙහි ක්‍රියාත්මක වීම රැඳී ඇත්තේ බොහෝ රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හවුල්කරුවන් දරන ප්‍රයත්නය මතය. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙහි නියැලී සියලු හවුල් කරුවන් උදෙසා ශිල්පීය ක්‍රමෝපාය සහ මාර්ගෝපදේශ සංවර්ධනය, චර්යාත්මක සැලසුම් සහ අයවැය සංවර්ධනය, සම්පත් සචලකරණය සහ ශක්‍යතා ගොඩනැංවීම ආදියෙහි නියැලෙන ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග සහ ඒඩ්ස් මර්ධන ජාතික වැඩසටහන මෙම ප්‍රතිචාර සම්බන්ධිකරණයේ යෙදෙයි. ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්ධන වැඩසටහනේ හි ප්‍රධාන වගකීම වන සැවොම එකට එක්ව ක්‍රියාකර මුදුන් පමුණුවා ගත යුතු අරමුණු නම් ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන පාලනය සහ ප්‍රතිකාර කිරීම, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන / එච්.අයි.වී. ඒඩ්ස් ආවේක්ෂණය, චර්යා වෙනස් කිරීමේ සන්නිවේදන, උපදේශනය, රසායනාගාර පහසුකම්, මවගෙන් දරුවාට එච්.අයි.වී. බෝවීම වැළැක්වීම, ආසාදන පාලනය, සමීක්ෂණ, ආසාදිත සහ බලපෑමට ලක්වූ සියලු දෙනාට ප්‍රතිකාර, උපකාර සහ සත්කාර ලබාදීම.

ශ්‍රී ලංකාවේ ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග පාලනය පිළිබද ඉතිහාසය

අවුරුදු සිය ගනනකට පෙර සිට ශ්‍රී ලංකාව තුල ලිංගාශ්‍රිතව බෝවන රෝග පාලනය කිරීමට පියවර ගෙන ඇත. ඉතිහාසගත වාර්තාවලට අනුව 1886 දී කොළඹ, මහනුවර සහ ගාල්ල යන ස්ථාන වල ප්‍රථමයෙන්ම ලිංගාශ්‍රිත රෝග සායන ආරම්භ කර ඇත. මෙයටත් පෙර සිට, 1841 හි අංක 4 දරන අයාලේ යන්නවුන් සඳහා ආඥා පනත, 1867 අංක 17 දරන ස්පර්ශ වීමෙන් බෝ වුන රෝග සඳහා වූ ආඥා පනත, 1889 අංක 5 දරන ගණිකා නිවාස සඳහා වූ ආඥා පනත් මගින් ලිංගාශ්‍රිතව බෝවන රෝග පාලනය සඳහා කටයුතු කර ඇත. 1878 දී බන්ධනාගාර වාට්ටු පිහිටුවා කාන්තාවන්ට ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීම කොළඹ සහ මහනුවර ආරම්භ කර ඇත. ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් මහතා 1920 දී ශ්‍රී ලංකාවට පැමිණ පිහිටුවා තිබු ලිංගාශ්‍රිත රෝග පාලනය පිළිබද තක්සේරුවක් කර වැඩ හොඳ සංවිධානාත්මක ක්‍රමයක් වශයෙන් ලිංගාශ්‍රිත රෝග පාලනය කිරීම සඳහා වූ ජාතික සභාවක් ස්ථාපනය කරන ලදී. 1921 දී කොළඹ වරායේ ලිංගාශ්‍රිත රෝග සායනයක් නැවියන්ගේ ප්‍රයෝජනය සඳහා ආරම්භ කර ඇත. නැවියන් හට ප්‍රතිකාර සැපයීමට බ්‍රසල්ඩ් ගිවිසුමට ශ්‍රී ලංකාව 1928 දී අත්සන් තබන ලදී. 1949 දී ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපහට සේවය ලබා ගැනීම සඳහා ලිංගාශ්‍රිත රෝග විශේෂඥ මහාචාර්ය ජෝර්ජ් ලේයිබ් මහතා ලබා දෙන ලදී. ඉන් පසුව 1951 ජුලි මාසයේදී එච්. එම. ලැයඩ් ගේ මගපෙන්වීම යටතේ ලිංගාශ්‍රිත රෝග මර්දන කණ්ඩායමක් පැමිණ ශ්‍රී ලංකාව තුල සම්බන්ධිකරණ වැඩසටහන් සැලසුම් කිරීම සහ ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරය 1952 දී ආරම්භ කිරීම. සමාජ රෝග මර්දන ව්‍යාපාරයේ වගකීම යටතේ 1952 සිට ශ්‍රී ලංකාව තුල ලිංගික රෝග පාලනය සිදුවිය. ශක්තිමත් සායන සේවාවන් වලට අමතරව නිශ්චිත ක්‍රමෝපායන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලදී..

1952 සිට ප්‍රාග් ප්‍රසව සහ පූර්ව රැකියා සඳහා කරනු ලබන රුධිර පරික්ෂා හඳුන්වා දෙන ලදී. කොළඹ අක්ෂි රෝහලේ ඇතුළු කර ගන්නා සියලුම රෝගීන් සඳහා රුධිර පරීක්ෂණ කිරීම 1953 දී ආරම්භ කිරීම. ශ්‍රී ලංකාවේ ලිංගාශ්‍රිත රෝග පාලනය කිරීම සඳහා මෙම ක්‍රම වේදයන් උපකාරී වී තිබේ. එච්. අයි. වී. සහ ඒඩ්ස් පැමිණීමත් සමග සමාජ රෝග මර්දන ව්‍යාපාරය, ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන නමින් 1985 දී ප්‍රතිසංවිධානය කරනලදී. මේ වන විට ශ්‍රී ලංකාවේ පළමු එච්. අයි. වී. ආසදිතයා පවා වාර්තා වී නැති වීම විශේෂ කරුණකි. අද සහකරුවන් සමග එක්‌ වී ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන රෝග නිවාරණය සහ සුව කිරීමේ සේවාවන් පවත්වාගෙන යනු ලැබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන ශ්‍රී ලංකාව තුල එච්. අයි. වී. සහ ඒඩ්ස් පාලනය මෙහෙයවීමට මුලිකත්වය ගෙන කටයුතු කරයි.

Leave a Reply